විද්‍යාලයේ ආරම්භය පිළිබඳ ලේඛනගත තොරතුරු සොයා ගැනීම අවිනිශ්චිත වන අතර, ආදි ශිෂ්‍යයන්ගෙන් රැස් කර ගන්නා ලද තොරතුරු අනුව විද්‍යාලයේ ආරම්භය ඉංග්‍රීසි ආණ්ඩුව මෙරට පාලනය කළ සමයේ සිදු වී ඇත.
ඒ අනුව 1910 – 1917 කාලය ඇතුළත විද්‍යාලය ආරම්භ වී ඇත. පාසල මුලින් ආරම්භ කළ ස්ථානය පැරකුම් සමුදුර ආසන්නයේ වශයෙන් අනුමාන කළ ද, පසුව පොළොන්නරුව ශුද්ධ නගරයේ පැරණි පොලීසිය ආසන්නයේ පාසල තිබූ බවට වාර්තා වී ඇත. එහි මුල් ගුරුතුමා ලෙස පී.ඩී.බී.සිරිසෝම මහතා 1935-1939.04.18 කාලය තුළ කටයුතු කර ඇති අතර එකම උප ගුරුවරිය වී ඇත්තේ එතුමාගේ බිරිඳ වූ එච්.ඇම්.හීන් අම්මා මහත්මිය ය. ඒ වන විට සිසුන් 51 ක් සිටි බවත්, 7 දක්වා පංති පැවැත් වී ඇති බවත් දැනට ආරක්ෂා වී ඇති ලොග් සටහන් වල සඳහන්වේ. තවද උදේ 8.00 - ප.ව. 3.00 දක්වා පාසල පවත්වා ඇති අතර සුවිශේෂී කාර්යයන් මෙම විද්‍යාලයේ ආරම්භක අවධියේ සිටම සිදු කර ඇති බවට ලේඛන ගත තොරතුරු වලින් වාර්තාවේ. ඉන් කිහිපයක් ලෙස :-
*සෑම මාසයකට වරක් ආරෝග්‍ය ශාලාවේ ප්‍රධාන වෛද්‍ය තැන විසින් සිසුන් පරීක්ෂා කිරීම.
*පාඨශාලාව නිවාඩු කාල වල වසා යන විට යතුර ටවුන් ආරච්චි යන අයට භාර දී යාම.
*වාර්ෂිකව බ්‍රිතාන්‍ය මහ රජතුමාගේ උපන් දිනයට වටදාගෙය වෙත ගොස් මල් පහන් පුදා එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම.
*1948.02.04 ප්‍රථම නිදහස් උළෙල සැමරීමේදී කච්චේරිය අසළ පිට්ටනියට සිසුන් රැගෙන ගොස් කෑමබීම, තෑගිබෝග ලබා දී සංග්‍රහ උත්සවයක් පැවැත්වීම.
*සිසුන්ට දිවා ආහාරය ලබාදීම හා 1939.12.01 දින සිට එළකිරි වීදුරුවක් ද ලබා දී ඇත.
1927-1929 වර්ෂ වල ඉතිරිව ඇති ලේඛන අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාලනය වී ඇති, පො/තෝපාවැව රජයේ මිශ්‍ර පාඨශාලාව ලෙස හඳුන්වන ලද පො/තෝපාවැව මහා විද්‍යාලය 1950 වර්ෂයේ වර්තමාන භූමියේ ස්ථාපිත කිරීමට ප්‍රදේශවාසී සහය ඇතිව මූලිකව කටයුතු කර ඇත්තේ ඩී.ටී.කටුගම්පල විදුහල්පතිතුමා ය.